Friday, April 14, 2023

රතු එරබදු.... සහ මත් කොවුලෝ...

 ඉස්සර නම් බක් මහට  එරබදු මල් ඕසෙට පිපුනි. දැන් එරබදු ගහත් දුලබ දසුනකි. කොවුල් නද අතරින් පතර අැහෙයි. එහෙත් මත් කොවුලෝ එමටය. 

රූපවාහිනියෙන් පෙන්වන සිංහල අලුත් අවුරුද්ද අපූරුය. පරහකට අැත්තේ එබදු අවුරුදු ගං ගොඩේ කොයි කොතනකවත් නැති එකය. 

 බවලත්තු අවුරුදු හින්දා කොදු කඩා ගන්නා අතර ගෘහ මුලිකයෝ නැකතට පෙර වැඩ අල්ලති. එ් සුරාමේරය ශික්ෂා පදය කඩ කරමිනි. අැත්තටම අපට අලුත් අවුරුද්දට සූරා නැකතක් නැත්තේ අැයි දැයි මම වරෙක කල්පනා කරමි.

සුරා පානය වසර දහස් ගණනක් මුළුල්ලෙහි නොනැසි පැවත එන පුරුද්දකි. මීවිත මිනිසාගෙන් වෙන් කරන්නට මහ බඹුට හෝ දෙවියන් වහන්සේට බැරුවා සහතිකය. පියවි ලෝකයෙන් දුරස් වන්නට මිනිසා මේ සා ප්‍රිය කරන්නේ ප්‍රකෘතිය දරා ගත නොහැකි නිසාද...? පිරිමින්ගේ ලෝකයක ගැහැණිය බොහෝ ළතැවුල් හා සිය ස්ත්‍රීත්වයේ උරුමය දරා ගන්නේ මතින් සිහි විකල් නොවෙමිනි.

අාදරවන්තයා අතුරුදහන්ව ප්‍රාදුර්භූත වූ සැමියා දරුවන් නුවුමනා බව කී කල මම තිගැස්සුනෙමි. අපේ පාපය දරුවන් හිස මත පතිත වන බැවින් අප දරුවන් නොලබා සසර දුක කෙටි කර ගත යුතු බව වැඩි දුරටත් පැහැදිලි කරන ලද්දේ අාගම දහමට ලැදි එකෙකු පරිද්දෙනි.. එහෙත් හෙතෙම ද මා මෙන්ම   පන්සල එක්ක එ් හැටි පයුරුපාසානයක් නොපවත්වන බව මම දැන සිටියෙමි. 

සැමියා බිරිඳගෙ දෙවියාය කියා කී කට තලන්නට මා සැදී පැහැදී සිටි කලක්ද තිබිණ. වෙනස් පෞරෂව දෙකක් එක වහලක් යට එකිනෙකා ඉවසා දරා සිටීම විවාහය බව වටහා ගන්නට ගත වූ කාලය මට දරුවන්ද තිළිණ කළේය.

හාහාපුරා කියා අපි දෙන්නා අම්මා තාත්තා බවට පත් කළ කුළුඳුල් පුතුට තාත්තා නැතුවම බැරි වෙද්දී සසර දුක සිහිපත් ව මා මුවග නැගී සරදම් සිනාව එ් අැස් හතරටම හොරා සඟවා ගතිමි. 

සිවිවන වරට ගැබ් ගත් බිරින්දෑ දෙදරුවන් දරන බව හෙළි වූ දවසේ එ් ගැබටත් වග කිව යුතු එක්කෙනා පුපුරා හැලුනේය. 

" මං කිව්වනෙ ළමයි ඕන නෑ කියල.. කලින් එක පාර එක්කෙනයි.. දැං එක පාර දෙන්නයි. එ් තුන් දෙනයි මේ දෙන්නයි .. මගෙ දෙයියනෙ පස් දෙනයි.. ළමයි පස් දෙනයි.. අපි කොහොමද ළමයි පස් දෙනෙක් ලොකු කරගන්නෙ.. ඉස්කෝලෙ අරින්නේ...?" 

මම මෙලෝ හසරක් නොදත් හින්නිකිතර එකියක මෙන් ඔහේ බලා සිටියෙමි. අනාගතයේ පවුලට එක් වීමට නියමිත දෙදරුවන් පිළිබඳ සිතන්නට හා තැවෙන්නට ඔහුට අැල්කොහොල් වැඩි වැඩියෙන් උවමනා විය. 

ඔහු ප්‍රසව වේදනාවද වින්දේ නම් අැල්කොහොල් කොච්චරක් උවමනා වනු අැද්දැයි මම විමතියට පත් වීමි. 

මහා බලසම්පන්න පිරිමියා එයාකාරය. මත් වීමෙන් ජීවන බර සැහැල්ලු කරගන්නට දරන උත්සාහය අනුකම්පා කටයුතුය. කොයි කොහොම වෙතත් පස්සෙන් පහු දවසක කොල්ලෝ පස් දෙනාම අැද මත පෙරලාගෙන අතොරක් නැතුව ඉඹින තාත්තා දැක පරණ සසර දුක සිහියට නැගී සුපුරුදු සරදම් සිනා සඟවා ගතිමි.

කොවුල් නදටත් කලින් අැල්කොහොල් එක් රැස් කරන ඔද තෙද පිරිමි පරාණ වගේම කැවිලි වෙනුවෙන් ලිප ගින්දරේ දැවෙන ගැහැණු පරාණ ද කියන්නේ ජීවන සන්තුෂ්ටිය අහිමි රටක තතු නොවේ ද.. මහා සංස්කෘතික මංගල්ලය මසින්ද මතින් ද පිරි ඉතිරී යන හැටිද සතියක් විතරම රටක් අැණ  හිටින හැටිද මට නම් බියකරු සිහිනයකි. 

" අවුරුදු ප්‍රීතිය කොහොම වුණත් අවුරුදු මත පහ වෙලා කාට කාටත්  සිහිය සැපත් වෙන්නෙ විස්ස වගේ තමා .." යි මම තොල් මතුරමි. 

සංස්කෘතිය රකින්නට උවමනා බව සැබෑය. එහෙත් සංස්කෘතියේ නාමයෙන් රටක් සතියක් විතර එක තැන නැවතුණ විට...? අපි අනේක වාරයක්  අයි.එෆ්. එම්. සරණ ගියද පලක් වනු අැද්ද. .? නිරන්තරයෙන් අයි. එෆ්. එම් සරණං ගච්ඡාමි කියන රටකට කොවුල් නද කුමට..? 

දැනටමත් නිවාඩු දින ගණන වැඩි නැද්ද..? සිංහල දෙමළ මුස්ලිම් ජන වර්ග තුනට අදාළ නිවාඩු අතරට මෙරට අාදිවාසින්ට එක් විය නොහැක්කේ මන්ද...? ඔවුන්වෙනුවෙන්ද  නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරන මෙන් රනිලාන්ඩුවෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි. එ් සඳහා විජය කුමාරයා ලක්දිවට ගොඩ බට දිනය සොයා සමරමු. නොරට පල් හොරෙකුට පෙම් බැඳ කිරුළු පලදවන්නට කුවන්නා සිය නෑසියන් ඝාතනය කළ වග ඉතිහාසය කියයි. අනේ අපි පුරා හැත්තෑ පස් අවුරුද්දක් මෙරට පල් හොරු අබිසෙස් කරවන්නට අපේ දරුවන්ගෙ පණ නලද සොදුරු සිහින ද බිලි දෙමු. මේ විපරීත නොදකින්නට මත් වෙන එකමයි හොද.. අනේ අැත්තමයි... 








Tuesday, April 11, 2023

අැසි දිසි විසිතුරු

 සේනපුර සිට හක්බෙල්ලාවක බලා ගිය ගමනේදි මුහුණ දුන් අත්දැකීම් නොලියා හිඳීම වූ කලී නෙරි පොටෙහි සඟවා ගත් ගඩා ගෙඩි අහුරක් අැටිකිච්චන් මුණුබුරු මිනිබිරියන්ට නොදෙන මුත්තම්මෙකුගේ වෙස් දැරිමකි. උන්දලා නෙරි පොටෙහි නොව කුස පොත්ත හාරා බත් උළ පවා පුද දෙන තරමට ආදරණීය වූ බැවින් මී මිණිබිරියක වන මම කොහොම මසුරුකම් කරන්නද..

ගමනක් කියන්නේම ගෘහ මුලිකයාගේ හොස්ස දික් වන කර්තව්‍යයකි. මංජුල මල්ලී මගේ කොල්ලන්ගේ තාත්තා ගැන සහසුද්දෙන්  දැන හිටියා නම් මේ කපේට මට ඇරැයුම් කරන්නේ නැතුවා සහතිකයි.

වෙනදා ගෙදර දොර වැඩ පලට මට සහාය වන ගෙදර අැත්තා මා ගමනක් බිමනක් යන දවසට ගහක් ගලක් ගානය. එ් හින්දා තට්ට තනියම උදේ දවල් දෙවේලට මහ ගොඩක් උයන පිහින මට හති වැටෙයි. හට්ටි මුට්ටි හා අැතිලි එක්ක යම යුද්ධය හමාර කරන මට බත් කටක් කන්නට හෝ අඩුම තරමින් අඳින අැදුම කණ පිටද හොද පිටදැයි පවා පිරික්සා බලන්නට ඉසිඹුවක් නැත. එ් දඩිබිඩිය හින්දා වරක් රං ගිරි දඹුලු එෆ්. එම් සේවයට මා ගියේ යට සායක් නැතුවය. උඩ සාය රැලි සායක් වූ බැවින් මඟ තොට කාටවත් නිච්චි නිනව්වක් නැතුවා විය හැක.

හරබර සාහිත්‍ය වැඩ සටහන නිමවා අාපසු සේනපුර එන්නට දඹුල්ලේ බස් නැවතුම්පළ කරා යද්දී මටම මා යට සායක් නැතුව හිඳින වග වැටහිණ. " දෙයියනේ දෝනි" යි මා බෙරිහන් දුන් කල මගේ තනි නොතනියට ගිය සදනි දියණය තිගැස්සුනාය.

"අනේ මම යට සායක් අැදලා නෑ   " යි අපමණ සංවේගයෙන් කී මම අැයද අැදගෙන රෙදි සාප්පුවකට දිව්වෙමි. එ් හින්දා යද්දී යට සායක් නැතුව එ් ගැන වගේ වගක්ද නැතුව දඹුලු ගිය මා අාපසු අාවේ කඩිමුඩියේ මිලදී ගත් අලුත්ම අලුත් යට සායක්ද යටට අැදගෙනය.

නිරුවතේ කලාව හා  කලාවේ නිරුවත පිළිබඳව පොර ටෝක් දෙන සම්භාව්‍ය පන්නයේ ලියන්නියක පවා සීගිරි ලදුන්ද අමතක කර යට සායේ එල්ලුනු හැටි...

කොයි කොහොම වෙතා අපේ බ්ලොග් ලියන්නා විසින් සංවිධානය කරන ලද බ්ලොග් හමුවට මා පිටත් වුයේ මහ පාන්දරය. පෙරදා රැයෙහි පන්සලේ සංවර්ධනය උදෙසා පවත්වන ලද ජහුටා බලා නිදි වරා හුන් මගේ හතරවැන්නා අවදි කරගැනීම පහසු නොවිය. මෙසිරිලක සංවර්ධනය හමාර වූ පන්සලක් නැතුවා වාගේ මට මගේ ගෙදර නිදිමතින් අවසග නොවු කොල්ලෙක් හොයා ගත නොහැකි විය. 

"අනේ මම මංජුල මල්ලිට පොරොන්දු වුණා එනවා කියලා.. අනේ කවුරු හරි යංකො මා එක්ක. මට තනියම යන්න දෙන්නෙ නෑ නේ ඔය ගොල්ලන්ගෙ තාත්තා" යි මම කෝපයෙන්ද ශෝකයෙන්ද කෑ ගැසුවෙමි. 

" අැහැරෙන්නකො කවුරු හරි.. බස් එකේ නිදා ගන්න පුලුවන්නෙ"  මගේ අායාචනයෙන් සසල වූ කලෙක මෙන් මගේ හතරවැන්නා නිදි මර ගාතේ නැගී සිටියේය. එ් සඳහා ඔහුට තෙවරක් තට්ටු කරන්නටද දෙවරක් එ් දිගු දෙපයින් අැද" නැගිටින්න... බස් එක යයි.. තුන හමාරට බස් එක  " යි කනට කර හඩගාන්නටද මට සිදු විය. අන්තිමේදි වදෙන් පොරෙන් නැගිටුවා ගත් කොල්ලා ට අැදුම් අන්දවා පාරට අැදගෙන යන්නට ද මට මහත් වෙහෙසක් දරන්නට සිදු විය. එ් හින්දා බසයේ නැගී හිඳ ගත් සැනින් මට නින්ද ගියේය. කොහොමත් නිදි වරණ මම බසයට නැග ටිකට් පතක් ලබා ගන්නටද පෙර නිදිබරින් කඩා හැලෙන හිසක් එක්ක විපරීත වන අතර බොහෝ විට කොන්දොස්තර මගේ උරහිසින් අල්ලා සොලවා " නොහාටද?" යි අසයි. 

 වෙන අය නම් දුරක යද්දී බහින්නෙ කොහෙන්ද කියලයි කොන්දා අහන්නෙ. එ්කට අපෙ අම්මා... නැගලා බස් එක පිටත් වෙන්නත් කලින් නිදි " යි කොල්ලෝ මගේ නිදි මර ගාතය හෙළා දකිති." අම්මගේ කොන්ඩෙත් අවුල් වෙලා.. කටත් අරගෙන නිදා ගත්තහම යස්සනියක් වගේ.. අනේ අම්මා කෝවිඩ් ඉවර වුනාට කමක් නෑ. කරුණ කරල බස් එකේ යද්දී මාස්ක් එක දාගෙන යන්න. එදා කැකිරාවෙ යද්දී අම්මට නින්ද ගිහිං.. මම බය වුණා දැකලා.. අම්මගෙ පුතා ම එහෙම බය වෙනවා නම් අනික් මිනිස්සු කොහොම බය වෙනවා අැද්ද " 

එ් උපදේශය අනුව කෝවිඩ් වසංගතය දුරුව තිබියදීත් මම ගමන් බිමන් යාමේදි මුඛ අාවරන පලදිමි. කොච්චර හිතුවක්කාර එකියක වුවද අැතැම් විට දරුවන්ට අවනත වන බැවිනි. මාත් මගේ හතරවැන්නාත් වරකාපොලින් බැස පොදු වැසිකිලිය සොයා ගියෙමු. එහි භාරකරු සමඟ කතා බතා කෙළවර අපට තේ එකක් බොන්න මිල අඩු හා සුපිරිසිදු අාපන ශාලාවක් කරා කැටිව යාමට තරම් හිතවත් විය. 

එය ගුහාවක් වැනිය. එහි පැරණි හා සීතල පෙනුම අපේ අාහාර රුචිය පලවා හැරියේය. " අනේ අම්මා හැම තිස්සෙම අදුරන්නැති අය එක්ක කතාවට යන්න එපා.. අම්මා මේ දැං දැක්ක කෙනා එක්කත් කතා කරන්නේ අවුරුදු ගානක් තිස්සෙ දන්නවා වගේ.. දැං දැක්කනෙ අපිව මේ ටවුන් එකේ ජරාම හෝටලයනට එක්ක ගිය හැටි එ් මනුස්සයා" 

කොල්ලා දොස් පවරන කල මම නිහඩව පසු වූයෙමි . වැඩි කාෙටම බඩ දඟලන හින්දාය. කතා කරන්නේ බඩින් නොව කටින් බව සැබෑය. එහෙත් බඩ අප්සෙට් වූ විට කට විරවෙයි. කොහොම හරි සීතල අාහාර හා අැල්මැරුනු තේ හින්දාම අප පැමිණි විගස මංජුල මල්ලී දිගු කළ ලැවරියා තසිමෙන් දෙකක්ම ගිල දැමුවෙමි. මගේ අාහාර රුචිය පිළිබඳව මගේ පුතා විමතියට පත් විය. 

දොල අද්දර පාරාදීසය කරා අප රැගෙන ගිය මංජුල මල්ලී පරාණ බය ඇති කළ බව කිව යුතුය. එ් පටු කඳුකර මඟ බ්ලොග් ලියන්නෝ සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් ද පුංචි දරුවන්ද පටවා ගත් වාහනය ඉදිරියට අැදි යන අතර බ්ලොග් පිළිබඳ හාංකවිසියක් නොදත් කොලනියේ ලියන්නිද පණ බයේ වෙව්ලමින් සිටියාය. අපේ වාසනාව ද මංජුල මල්ලිගේ රිය පැදවිමේ නිපුණතාවය ද මංදා අපි පණ බේරා ගෙන එ් සුන්දර ඉසව්වට සම්ප්‍රාප්ත වූයෙමු. දිය නාන බවක් කී නිසා මා ගෘහ මූලිකයාට හාෙරෙන් බෑගයට ඔබාගෙන තිබුනෙ දිය රෙද්දකි  අනේ අනෙක් අංගනාවො සැහැල්ලු අැදුමින් සැරසී දියට බහින විට අවලස්සන තාරාවා සිහි ගන්වමින් මම දිය රෙද්දක් හැඳ සපත්තු පය ලාගෙන දොල පාර වෙත ලැසි ගමනින් නොව නම් කළ නොහැකි ගමනකින් ගිය බව මතකය. සියලු අලකලංචි අමතක කර දමන තරමට බ්ලොග් ලියන්නෝ සුන්දර හා දයාන්විත වූහ. ඔවුන්ගෙන් සමු ගැනීම සැබැවින්ම වේදනාකාරි විය. එහෙත් ලෙන තුළ කුපිත සිහ රද සේ මගේ වල්ලභයා දැනටමත් පරල වී සිටින බවට අනුමාන කරමින් අාපසු ගමනට සූදානම් වීමු. එහිදී උපකාර කළ ඉයන් හා ඔහුගේ මිතුරා අප පිළිබඳව කරදර වුවද මම බොහෝ දුර කතරක යා යුතු බව පවා අමතක කර සිටියෙමි. 

පුංචි පුතාත් මාත් තලාවෙන් බහින විට රාත්‍රි නවය පසු වී තිබිණ. අපේ අතැති සුකුරුත්තං දෙකම මළාක් මෙන් නිහඩය. එහෙයින් අපි සරණාගතයෝම වූයෙමු. කිසි පිළිසරණක් නැති. වැසුණු කඩ සාප්පු එක්ක  ජනයාගෙන් විනිර්මුක්ත නගරය සොහොන් බිමකි. අප මෙන්ම අතරමං වු මගියෙකු අප කරා අාවේය. මගේ පුතා මා වෙත හෙලූ තරවටු බැල්ම දැක දැකත් කතාවට මුල පිරුවෙමි.. මනුස්සයෙකු දුටු සැනින් කුලප්පු වන්නට එපා යැයි කොල්ලන්ගේ තාත්තා ද නෙයෙක් වර කියා තිබේ. 

"මං අපෙ අම්මා බලන්න ගියා.. රෑ වුණා.. බස් එකක් අායෙ එන්නෙ පාන්දර දෙකට" මගේ අලුත් හිතවතා අප මුහුණ දී සිටින බිහිසුණු වාතාවරණය පැහැදිලි කළේය. දැන් දහයයි. තව පැය හතරක් මේ සොහොන් බිමක් වැනි නගරයේ තපින්නේ කොහොමද? 

"විල් එකක් නම් අාවා  මම කතා කරන්නම්.." යි කී හිතවතා නොපමාව අාපසු අාවේය 

" කිලෝමිටරයට සීයයි.. මොකද කියන්නේ.. මම ඉහලවැවෙන් බහිනවා " කිලෝමිටරයට කීයක් ගත්තත් යා යුතුව තිබේ. ගමනට ඉනි මං බැඳී කතාව හින්දා ඉහලවැවට යන්නට ගත වූ කාලය පිළිබඳ හැඟීමක් පහළ නොවිය. ඔහු ජපනෙකු  මෙන් කඳ නවා අපෙන් සමු ගත්තේ ය. යළි ඉදිරියට අැදි යන වාහනය තුළ මගේ කොල්ලා රහසින් කොදුරා අැසුවේ  "එ් මාමා කියක්වත් දුන්නෙ නෑ නේද අම්මා?" කියාය. 

ගමන් ගාස්තුව පිළිබඳව කරදර නොවන්නැයි මට කී ඔහු සැබවින්ම ගමන් ගාස්තුව පිළිබඳව කරදර නොවු වග වැටහී ගීයෙන් මට සිනාව මැඩ ගත නොහැකි විය. හරියට විධායක ජනපති ධුරය අහෝසි කරන බවට ප්‍රතිඥා දී යස රගට එ් ධුරය දරා පොරොන්දු කඩ කළ බවට අදෝ සංස්කාරයක්  නැතුව බැස යන අපේ පාලකයන් වගේ ඔහු වගේ වගක් නැතිව වාහනයෙන් බැස ගියේය 




  ෙ





Friday, April 7, 2023

සේනපුරින් හක්බෙල්ලාවකට...

 කවර කාරියකට ගියද එය යම්කිසි පිරිසකගෙන් සැදුම් ලද්දේ නම් නිතර හඩන සුකුරුත්තම නිහඩ කොට අත් බැගයේ රුවා ගනිමි. එය නාද වීමෙන් අන්‍යයන් හට අපහසුතාවයක් අැති වීම වළක්වාලීම පමණක් නොව එ් කටයුත්තේ ලොකු කුඩා බව කෙසේ වෙතත් එයට නිසි ගරුත්වය ලබා දිය යුතු බැවිනි. මේ මෙවලම් වලට වහල් නොවි අපද හයි හත්තිය අැති මනුස්ස පරාණ බව ඉඳ හිට හෝ අපම පසක් කරගත යුතු නැද්ද?


බක් මහ පළමුවනදා ඔහු මා අමතද්දි මම මකුලෑවේ බවත්වන ලද "අයිතීන් උදෙසා කාන්තාවෝ" සංවිධානය කළ හමුවක අතිශයින් හැඟීම්බරව ජීවිතයේ ප්‍රථම වරට ප්‍රසිද්ධියේ කඳුළු සලමින් සිටියෙමි.

මේ රමණීය රට පිළිබඳව කතා කිරීමෙන් නොව සිතීමෙන් පවා දෑස් තෙත්වන්නේ නිරායාසයෙන්මය.


දිවා අාහාරයේදි මගේ සුකුරුත්තම පිරික්සා බලන කල මා හිතා මතා මඟ හරින ලද ඇමතුම් කීපයක්ම විය. එයින් එකක් එ් අාදරනිය ලියන්නාගේය.

තට්ටයා යන අාදරනිය නමත් එක්ක ඔහු මට හමු වන්නේ බක් පොහෝදා ය.

බ්ලොග් ලියන්නන් ගේ හමුවට කරන ලද අාරාධනය මා විසින් පිළිගැනිම මගේ ජීවිතයේ මා කළ තවත් එක් මෝඩ හා පිස්සු වැඩක් බව මගේ දෙවැන්නා ගේ අදහස විය.

ගමන් බිමන් සම්බන්ධයෙන් මා පළමුව කතිකා කරන්නේ මගේ කොල්ලන් එත්කය.

ගෘහ මූලිකයා කරා එළැඹෙන්නේ අනතුරුවය. එද සිංහයාගේ ගුහාවට රිංගන සා පොව්වෙකු මෙන් බියෙන් තැති ගනිමිනි.


බිරින්දෑ ද අම්මාද යන නම්බු නාම එක්ක ගැහැනියක ගෙතුළ බිත්ති හතර තුළ සිරගත වීමේ ඉරණමට යටත් විය යුතු බව තරයේ විශ්වාස කරන පිරිමියෙක් එක්ක ගමන් බිමන් කියන්නෙම සටන් වැද දිනාගත යුතු බිහිසුණු අරගලම විනා අන් කිසිවක් නොවේ.

එ් ඔහුගේ වරද නොවන බව දයාවෙන් සිතමි. බොහෝ පිරිමි කැමැත්තේ සිය මව වැනි බිරිදකටය.. කුටුම්භය තුළ ලෝකය ඉඳි කරගත් පතිනියකට එය දිව්‍ය ලෝකයක් විය හැක. නමුත් ලෝකය එකම යායක් බව අදහන්නියකට එය එසේ නොවේ.


"අාරාධනාව ලැබෙන්නේ අප්‍රේල් පළවෙනිදා.. කාගෙ හරි බොරුවක් විහිළුවක් වෙන්න බැරිද?"

එ් පොඩි පුතා.


"හක්බෙල්ලාවක..?..දිවත් උලුක්කු වෙනවා...

බඩපිස්සා මා යා යුතු ගමේ නමේ එල්ලුනේය.


"කොයි ලෝකෙද දන්නෙ නෑ... අනේ පිස්සු නැතුව ඉන්න අම්මා.. "

මද්දුවා සිය අප්‍රසාදය පළ කළේය.

" මොකට එන්න කියනවද මංදා... අදුරන්නෙත් නෑලු.. කතා කලෙත් අදමලු... "

පුංචි පුතා සිය මවගේ අනුවණ කම පිළිබඳව විමතිය පළ කළේය.


" බෙල්ල කපන්න එන්න කියනවද මංදා... කොහේ තියන තැනක් ද ඔය... මේක නම් අම්මා සිරාවටම පිස්සු ගමනක්... "

පොඩි පුතා යළි සිය විරෝධය පෑවේය.

අපේ මේ හදිසි රැස්විමට ලොකු පුතා සහභාගි නාෙවිය. කොහොමටත් ලොකු පුතාට ද මා සාමාන්‍යයෙන් ගමනක් පිළිබඳව දැනුම් දෙන්නේ අන්තිම මොහොතේදිය.


අපේ රටේ ගැහැණිය දැරියක ලෙස පියාට ද තරුණියක හා බිරිඳක ලෙස සැමියාට ද මවක ලෙස වැඩිමහල් පුතුටද අවනත විය යුතු බවට සම්ප්‍රදායක් තිබෙි. එය බිඳීම පහසු නැත. මේ නූතන ලෝකයේ පවා අෑත දුෂ්කර වන්නි වන පෙතේ ලියන්නියක එක වර සංග්‍රාම කීපයක සටන් වැද නිරන්තරයෙන් රුහිරු වගුරුවමින් සිටින බව හෙළි කරමි. ජීවිතයද ලෝකය ද එබඳුය. ඉතිහාසයේ අප සපැමිණි මඟ සටන් නොවැද දිනූ කිසිවක් නැත. ජයග්‍රහණ ලෙයින් කඳුලින් හා දහදියෙන් තෙමී තිබෙි.


මම මා සමඟ සටන් කරමි. මම කුටුම්භයේ මගේ අාදරනියයන් සමඟ සටන් කරන අතරතුරම පීඩක පාලක පැලැන්තිය සමඟ ද අඛණ්ඩ සටනේය.


" පොතක් ලියාගෙන පාඩුවෙ ඉන්නෙ නැතුව බොරුවට ජීවිතේ අවදානමකට දාගන්න එපා" යි අවවාද හා අනුශාසනා කරන්නන් සමඟද එක්තරා සටනකය.


ලාභ සත්කාර වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා දෙන්නැයි නිබඳ ඇරැයුම් කරන උදවිය හා එයට අනුබල දෙන තරමට පිරිහුණු දුබල අාර්තිකය එක්කද නොනවතින අරගලයක... එහෙත් සයින් පවසින් පෙලි මිය යාම පවා එ් වරප්‍රසාද වලට වඩා නම්බුකාර බව හගින සෙබලියකද වෙමි. අසිපත් දුනු ඊතල කිසිත් නැති. ලාභ පෑනකින් පමණක් සන්නද්ධව කරන මේ බිහිසුණු සංග්‍රාමයට දිරි දෙන අාදරනිය හදවත් මගේ රිදුම් පිරිමැද සුව සෙත සදන බව කෘතවේදි බුහුමනින් කියමි.


අන්තිමේදි බක් පොහෝදා අලුයම බලහත්කාරයෙන් අැහැරවා සූදානම් කරගත් මගේ හතරවැන්නා එක්ක හතරමං හන්දියට දිව ගියෙමි.

පාන්දර තුන හමාරේ බස් එක තව ඩිංගෙන් වරදිනවාය. අැබින්දකට පමා වුයේ අැළ අද්දර මල් ගහකින් මල් නෙළන හින්දාය..

මල් නෙලිම හින්දා මිමැස්සන් හා සමනලයන් අැතුලු කෘමි සේනා කුසගින්නෙන් පීඩා විඳීම පිළිබඳ කවදත් ශෝක වන මම එ් හිමිදිරියේ මල් නෙලූ කොන්දොස්තර මහතාට නිහඩව ස්තූතිවන්ත වීමි

දිගු ගමනක වෙහෙස නිවා දමමින් එ් අාදරනිය බ්ලෝග් ලියන්නා ...කඩවසම් ඉලන්දාරියා පෙර මඟට දිවවිත් මහ මගදී ම මා වැළඳ ගත්තේය.

ලේ නෑයන් හමු වූ කලෙක මෙන් සතුටක් හා සැනසුමක් අත් වින්දේ සෙසු බ්ලොග් ලියන්නන්ද හමු වූ එ් සොද්‍රරු සුයාමයේදිය.

සැබැවින්ම බක් පොහෝදා බ්ලොග් හමුව අතිශයින් අරුත්බර හා සොද්‍රරු බව යළි යළි කියමි. ජීවත්වන බව දැනෙන හැඟෙන නිමේශය තිළිණ කළ අාදරනිය ලියන්නනි අාදරෙයි...

වේතරණි

 ළපටි උක් යායේ සිලි සිලිය අතරේ අකුරින් අකුර පිය මැන යන හින්නිකිතර කෙල්ලත් ඉලංදාරියාත් දිහා ලෙන්ගතු බැලුම් හෙළන උදා හිරු තවම මුදු මොලොක්ය...