Friday, April 14, 2023

රතු එරබදු.... සහ මත් කොවුලෝ...

 ඉස්සර නම් බක් මහට  එරබදු මල් ඕසෙට පිපුනි. දැන් එරබදු ගහත් දුලබ දසුනකි. කොවුල් නද අතරින් පතර අැහෙයි. එහෙත් මත් කොවුලෝ එමටය. 

රූපවාහිනියෙන් පෙන්වන සිංහල අලුත් අවුරුද්ද අපූරුය. පරහකට අැත්තේ එබදු අවුරුදු ගං ගොඩේ කොයි කොතනකවත් නැති එකය. 

 බවලත්තු අවුරුදු හින්දා කොදු කඩා ගන්නා අතර ගෘහ මුලිකයෝ නැකතට පෙර වැඩ අල්ලති. එ් සුරාමේරය ශික්ෂා පදය කඩ කරමිනි. අැත්තටම අපට අලුත් අවුරුද්දට සූරා නැකතක් නැත්තේ අැයි දැයි මම වරෙක කල්පනා කරමි.

සුරා පානය වසර දහස් ගණනක් මුළුල්ලෙහි නොනැසි පැවත එන පුරුද්දකි. මීවිත මිනිසාගෙන් වෙන් කරන්නට මහ බඹුට හෝ දෙවියන් වහන්සේට බැරුවා සහතිකය. පියවි ලෝකයෙන් දුරස් වන්නට මිනිසා මේ සා ප්‍රිය කරන්නේ ප්‍රකෘතිය දරා ගත නොහැකි නිසාද...? පිරිමින්ගේ ලෝකයක ගැහැණිය බොහෝ ළතැවුල් හා සිය ස්ත්‍රීත්වයේ උරුමය දරා ගන්නේ මතින් සිහි විකල් නොවෙමිනි.

අාදරවන්තයා අතුරුදහන්ව ප්‍රාදුර්භූත වූ සැමියා දරුවන් නුවුමනා බව කී කල මම තිගැස්සුනෙමි. අපේ පාපය දරුවන් හිස මත පතිත වන බැවින් අප දරුවන් නොලබා සසර දුක කෙටි කර ගත යුතු බව වැඩි දුරටත් පැහැදිලි කරන ලද්දේ අාගම දහමට ලැදි එකෙකු පරිද්දෙනි.. එහෙත් හෙතෙම ද මා මෙන්ම   පන්සල එක්ක එ් හැටි පයුරුපාසානයක් නොපවත්වන බව මම දැන සිටියෙමි. 

සැමියා බිරිඳගෙ දෙවියාය කියා කී කට තලන්නට මා සැදී පැහැදී සිටි කලක්ද තිබිණ. වෙනස් පෞරෂව දෙකක් එක වහලක් යට එකිනෙකා ඉවසා දරා සිටීම විවාහය බව වටහා ගන්නට ගත වූ කාලය මට දරුවන්ද තිළිණ කළේය.

හාහාපුරා කියා අපි දෙන්නා අම්මා තාත්තා බවට පත් කළ කුළුඳුල් පුතුට තාත්තා නැතුවම බැරි වෙද්දී සසර දුක සිහිපත් ව මා මුවග නැගී සරදම් සිනාව එ් අැස් හතරටම හොරා සඟවා ගතිමි. 

සිවිවන වරට ගැබ් ගත් බිරින්දෑ දෙදරුවන් දරන බව හෙළි වූ දවසේ එ් ගැබටත් වග කිව යුතු එක්කෙනා පුපුරා හැලුනේය. 

" මං කිව්වනෙ ළමයි ඕන නෑ කියල.. කලින් එක පාර එක්කෙනයි.. දැං එක පාර දෙන්නයි. එ් තුන් දෙනයි මේ දෙන්නයි .. මගෙ දෙයියනෙ පස් දෙනයි.. ළමයි පස් දෙනයි.. අපි කොහොමද ළමයි පස් දෙනෙක් ලොකු කරගන්නෙ.. ඉස්කෝලෙ අරින්නේ...?" 

මම මෙලෝ හසරක් නොදත් හින්නිකිතර එකියක මෙන් ඔහේ බලා සිටියෙමි. අනාගතයේ පවුලට එක් වීමට නියමිත දෙදරුවන් පිළිබඳ සිතන්නට හා තැවෙන්නට ඔහුට අැල්කොහොල් වැඩි වැඩියෙන් උවමනා විය. 

ඔහු ප්‍රසව වේදනාවද වින්දේ නම් අැල්කොහොල් කොච්චරක් උවමනා වනු අැද්දැයි මම විමතියට පත් වීමි. 

මහා බලසම්පන්න පිරිමියා එයාකාරය. මත් වීමෙන් ජීවන බර සැහැල්ලු කරගන්නට දරන උත්සාහය අනුකම්පා කටයුතුය. කොයි කොහොම වෙතත් පස්සෙන් පහු දවසක කොල්ලෝ පස් දෙනාම අැද මත පෙරලාගෙන අතොරක් නැතුව ඉඹින තාත්තා දැක පරණ සසර දුක සිහියට නැගී සුපුරුදු සරදම් සිනා සඟවා ගතිමි.

කොවුල් නදටත් කලින් අැල්කොහොල් එක් රැස් කරන ඔද තෙද පිරිමි පරාණ වගේම කැවිලි වෙනුවෙන් ලිප ගින්දරේ දැවෙන ගැහැණු පරාණ ද කියන්නේ ජීවන සන්තුෂ්ටිය අහිමි රටක තතු නොවේ ද.. මහා සංස්කෘතික මංගල්ලය මසින්ද මතින් ද පිරි ඉතිරී යන හැටිද සතියක් විතරම රටක් අැණ  හිටින හැටිද මට නම් බියකරු සිහිනයකි. 

" අවුරුදු ප්‍රීතිය කොහොම වුණත් අවුරුදු මත පහ වෙලා කාට කාටත්  සිහිය සැපත් වෙන්නෙ විස්ස වගේ තමා .." යි මම තොල් මතුරමි. 

සංස්කෘතිය රකින්නට උවමනා බව සැබෑය. එහෙත් සංස්කෘතියේ නාමයෙන් රටක් සතියක් විතර එක තැන නැවතුණ විට...? අපි අනේක වාරයක්  අයි.එෆ්. එම්. සරණ ගියද පලක් වනු අැද්ද. .? නිරන්තරයෙන් අයි. එෆ්. එම් සරණං ගච්ඡාමි කියන රටකට කොවුල් නද කුමට..? 

දැනටමත් නිවාඩු දින ගණන වැඩි නැද්ද..? සිංහල දෙමළ මුස්ලිම් ජන වර්ග තුනට අදාළ නිවාඩු අතරට මෙරට අාදිවාසින්ට එක් විය නොහැක්කේ මන්ද...? ඔවුන්වෙනුවෙන්ද  නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරන මෙන් රනිලාන්ඩුවෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි. එ් සඳහා විජය කුමාරයා ලක්දිවට ගොඩ බට දිනය සොයා සමරමු. නොරට පල් හොරෙකුට පෙම් බැඳ කිරුළු පලදවන්නට කුවන්නා සිය නෑසියන් ඝාතනය කළ වග ඉතිහාසය කියයි. අනේ අපි පුරා හැත්තෑ පස් අවුරුද්දක් මෙරට පල් හොරු අබිසෙස් කරවන්නට අපේ දරුවන්ගෙ පණ නලද සොදුරු සිහින ද බිලි දෙමු. මේ විපරීත නොදකින්නට මත් වෙන එකමයි හොද.. අනේ අැත්තමයි... 








21 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. යම් පණිවිඩයකුත් එක්ක, දෙන්නා-දෙමහල්ලන්ගේ කුටුම්භ රක්ෂණයේ එදිනෙදා වගතුග ලියා තියෙන රටාව හරිම අපූරුයි.🙏😊

    මුලු පවුලටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. අපි අබිසෙස් නංවන බොහෝ දෑ විවරණය කර බැලුවම අැති දේකුත් නෑ... නැති දේකුත් නෑ...

      Delete
  3. රාවයට ලියපු ලිපි පෙල නතර උනු එක ගැන කණගාටුවෙන් හිටියේ. බ්ලොග් එකකට කාලය කැප කිරීම ගැන තුති.

    ReplyDelete
    Replies
    1. අැත්තටම රාවයෙන් සමු ගත්තට පස්සෙ තමා මුහුණු පොතට අාවේ..බ්ලොග් ලියන්නියක වීමෙ ගරුත්වය සම්පූර්ණයෙන්ම අයිතියි මංජුල 5ා ප්‍රභාත් මල්ලිලාට

      Delete
  4. අගේ ඇති ලියවිල්ලක්.
    ලැබූ නව වසර සුබ වේවා !

    ReplyDelete
  5. ඇත්ත කතාව. මාත් බොනවනම් තමා සීමාවක ඉඳන්... ඒ වගේම, තම පදම දන්න අය එක්ක තමා වැඩි ආශ්‍රය නිශ්‍රය.
    ලංකාවේ බොහෝ අය තම සීමාව නොදැන බොන අය.

    හැබැයි පිරිමි විතරක් බොන සංස්කෘතිය දුරස් වෙනව. ඒ වගේම දැන් දැන් දෙන්න දෙමහල්ලො ෆන්ෂන් එකකට ගියහම ලිකර් ටිකක් ගන්න එක සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් යන්නෙ. සුරාව සල්ලි වාෂ්ප කරන මාධ්‍යයක් උනත්... මේ ක්‍රමයට මන් එක විදිහකට කැමතියි. දෙන්න දෙමහල්ලෝ පොඩි අඩියක් ගෙන ජීවිතය ගැන කතා කරන එක, ෆන්එකක් ගන්න එක, ලයිෆ් එක එන්ජෝයි කරන එකට මගෙ විරුද්ධත්වයක් නෑ.

    ඔබටත්, පවුලේ හැම දෙනාටමත් සුබ ප්‍රීතිමත් නව වසරක්. ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් මිවිතක මිහිරට ලිංග බේදයක් මොටද...

      Delete
  6. //සංස්කෘතියේ නාමයෙන් රටක් සතියක් විතර එක තැන නැවතුණ විට...? //
    මේක අවුරුදු නිවාඩුව කියමුකෝ..ඔය ච්නෙත් සුමාන දෙකක් විතර නිවාඩුයි නේ. එත් එකපාරට දෙන රජයේ නිවාඩු ( පසුගිය වසරේ විතරක් කීයක් වෙන්න ඇතිද?) පුද්ගලික අංශයේ අය විතරයි මේ රටේ වැඩකරන්නේත් බදු ගෙවන්නෙත්...

    ReplyDelete
  7. ඔබට සුභ අළුත් අවුරුද්දක් පතනවා.

    සුරාමේරය සිල් පදයට විරුද්ධව උසාවි යන්න පුළුවන් නම් හෙහ් හෙහ්


    මේ බ්ලොග් එක මම ෆලෝ කලාට මගේ ලිස්ට් එක අප්ඩේට් වෙන්නෙ නැහැ. තාක්ෂණික ඔස්තාද් කෙනෙක්ගේ උපදෙස් පතමි.

    ReplyDelete
    Replies
    1. තාක්ෂණික ඔස්තාද් කෙනෙක් නං ඉතිම් අල කොමා තමයි. එනතුරු මේක බලන්න:
      https://www.youtube.com/watch?v=ExUrvw3KHg0

      Delete
    2. ඔය ෆීඩ් ගැන අල කොමා දන්නෙත් නෑ. වීඩියෝව බලල මොකක් හරි කරන්නං.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. තමන්ගේ අනාගතය සුඛිත මුදිත කරවනු ඇතැයි, පිටස්තරයෙක් මත අපේක්ෂා තබාගෙන ඉන්න ඡන්දදායක ජනතාවක් එක්ක... (එක්කො ඊට වඩා කියන්ඩ ඔ්නෙ නෑ. පෙන්ෂන් ගියාට පස්සෙ කට අරින්නං.)

    ReplyDelete
    Replies
    1. කට අරින්න බැරි සීමා විලංගු තහංචි අණ පනත් කොතෙක්ද

      Delete
  10. කොවුලොම කියල කියන්ඩත් බෑ මිසී වෙලාවකට, කොවුලො අනිත්උංගේ කූඩුවල බිත්තර දාන ජාතියක්නේ හිටං. : )

    මිසීගෙ ලියවිල්ලෙ ඉෂ්ටැයිල් එකනං බෝම හිතට ඇල්ලුව.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. එ්ක අැත්ත... කොහොම වුණත් මතින් මිනිසා වෙන් කරන්නට වෑයම් කිරීම නිරර්ථකයි

      Delete
  11. මොකටද ඇත්තටම ළමයි??

    කරදරයක් කියලමයි හිතෙන්නෙ. අනික මේ අපි විදින දුක් ටික තව එකෙක්ට දෙන්න ඕනි ද?😪

    ReplyDelete
    Replies
    1. අැත්තටම දරුවන් සම්පතක් සේ නොහගින මෙවනි රටකට දරුවන් මොටද

      Delete
  12. වෙලාවක් තියේනං මේ පැත්තෙත් ඇවිත් යන්න කියල ආරාධනාවක් මේ.

    ReplyDelete
  13. ස්තූතියි... එන්නම් .. නෑවිත් බෑ නෙවැ

    ReplyDelete

වේතරණි

 ළපටි උක් යායේ සිලි සිලිය අතරේ අකුරින් අකුර පිය මැන යන හින්නිකිතර කෙල්ලත් ඉලංදාරියාත් දිහා ලෙන්ගතු බැලුම් හෙළන උදා හිරු තවම මුදු මොලොක්ය...