Wednesday, May 3, 2023

එක දවසක්

 එක දවසක් කියන්නේ පැය විසි හතරක් තමයි. එහෙත් එක දවසක අනේක සිදුවීම් එක්ක කාලය මායාවක් බවට පත් විය හැක. අැත්තටම කාලය මායාවක් නොවේද... කොයි කොහොම වුණත් වෙසක් මහ අැරඹෙන්නේ හෙළ බොදු හදවත් සැදැහැයෙන් පුරවාලමිනි. එ් කොතෙක්ද කිව හොත් පා ගමනින් පූජා භූමියට යන සිල් මාතාවන් උදෙසා සිදු කළ දාන මාන පිළිබඳ කතා බතා අතරේ මගී අාවරනය තුළ බවලත්තු මහ මඟ අසීරුවෙන් ගමන් කරන පුද්ගලයා දැක දැකත් නුදුටු විලාසයක් පෑහ.

පයක මහ විශාල තුවාලයක් එක්ක අත් වාරුවේ උපකාරයෙන් අැවිද යන්නා දුටු සැනින් මම කැළඹී ගියෙමි.

"අනේ එයා හරි අමාරුවෙන් අැවිදින්නෙ.." යි මා කී කල "කරුමෙ... පූරුවෙ පව් පල දීලා. ඔහොම තමා... විදවන්ඩ එපැයි... අනිච්චේ දුක්කේ සංසාරේ" යි එකියක අතක් නිකටේ හොවා ගත්තාය.

"සිල් මාතාවන් ට මං වතුර බෝතලයක් ප්‍රජා කළා.. අායෙ ඉතිං සසර සැරි සරන තුරාවට මට තිබාසෙ නං ඉන්ඩ වෙන්නෙ නෑ.. " ඉදිරියෙන් වේදනාබරිත මිනිසා දැක හුල්ලා සැනින් අමතක කළ උපාසිකාවක තුටු පහටු වූවාය. 

" මං නං පුජා කෙරුවෙ බෙහෙත් ටිකක්... කකුල් කැක්කුං නැතැ මෙච්චර දුර කතරක් පයිංම අැවිල්ලා.. උපදිනා අාත්මෙක මට ඉතිං ලෙඩට දුකට බෙහෙත් පෙත්තක් නැතුව දුක් විඳින්න වෙන්නෙ   නෑ "

දානය කියන්නේ පෙරළා දානයට වඩා බලවත් යමක් ලැබීම උදෙසා සිදු කරන අායෝජනයක් ද.. 

පව් පින් දාන මාන කුසල් අකුසල් පිළිබඳව ළත වන්නට කාලයක් නැත. අපේ අැස් ඉස්සරහ අප වැනි මනුස්ස පරානයක් මහත් වෙර වෑයමෙන් අැවිද යයි. එ් සඳහා ඔහු දරන ප්‍රයත්නය අැහැකට විඳ දරා ගත නොහැකි තරම් විශාලය. තව දුරටත් කාලය නාස්ති කරමින් සසර සඳහා අායේජනය කළ සැදැහැවතියන්ගේ පුන්‍යානුමෝදනා අසා සිටින්නට තරම් මට අැති උලව් සරදාවක් නැත. 

බසයක් පතා බලා ඉන්නා බව පවා මට අමතක විය. හිත රිදුනේ එක මිනිහෙක් නගරය ඔස්සේ ගාට ගාටා යන කල සංවේදි නොවු හිත් හින්දාය. පව් පළ දෙන තවත් කරුමක්කාරයෙකු විනා ඔහු මිනිසෙකු නොවේ. අනේ බුදු හාමුදුරුවනේ.. දඹදිව් තලය පුරා පා ගමනින් වැඩම කොට අසරණයන්ට සරණ වූ ඔබ වහන්සේට කළ හැකි තවත් අවමානයක් තිබිය හැකිද.? 

තුවාලකරු සමඟ කතා කොට ත්‍රී වීල් රියකට නංවා හරිනතුරු නිහඩව හා නිසලව බලා හුන්   සැදැහැ සිත් අැත්තියෝ   එක්ක උරණ වී පලක් අැද්ද...? අාගමේ නාමයෙන් බලවත් වන්නේ ස්වාර්ථයයි. මට...! මගේ.! . මම.! . අනෙකා අදාළ නොවේ. 

අැත්තටම එය බිහිසුණු තත්ත්වයක් නොවේද.? සමාජ ප්‍රගමනයට බාධා පමුනුවන්නක් නොවේද.? නිවන හෝ ස්වර්ගය උදෙසා වෙහෙසෙන අපේ අැත්තෝ අාත්මාර්තයෙන් උතුරා යන කල මනුෂ්‍යත්වය අසරණව අනාතව නොයයිද.? එ් එ් වකවානු තුළ පහළ වූ දාර්ශනිකයන් දෙසූ ධර්මයක් වේ නම් සිදු විය යුත්තේ වැඳුම් පිදුම් එක්ක තමා වෙතට හැකි තාක් හැකිලී යාමද.. එ් එ් ගුණාංග ජීවිතයට එකතු කරමින් ජීවිතය හා ලෝකය දෙස විචක්ෂණශීලිව බැලීම නොවේද.. එ් වෙනුවට නිරර්ථක පුද පූජා පවත්වමින් සහෝදර මිනිසා කෙරෙහි සංවේදි නොවෙමින් අප උමතුවෙන් මෙන් ක්‍රියා නොකරන්නේද.? 

අාගමක් දහමක් හිසින් හා හදින් දැඩිව නොගත් මට වේදනාබරිත මිනිසෙකුගේ තුවාලයේ වේදනාව දැනින. එ් සා අසීරුවෙන් අැවිද යන්නා කරුමක්කාරයෙකු වග හගින්නට මම අපොහොසත් වෙමි. ඔහු මේ යෝධ මිනිස් පවුලේ තවත් එක් සාමාජිකයෙකු පමණි. සෙස්සෝ ඔහුට උපකාර කරන්නට බැඳී සිටිති. එ් මන්ද යත් අප අයත් වන්නේ එකම හෝමෝ සේපියන්ස් වර්ගයට හින්දාය. 

අාගම ද ජාතිය හා කුලය මෙන් අප බෙදයි. එවැන්නක් එකී දර්ශන මෙලොවට පිදූ දාර්ශනිකයන් කිසිසේත් අනුමාන නොකලා නිසැකය. දේශපාලඥයා ජාතිය හා කුලය මෙන්ම අාගමද අපයෝජනය කරන්නාක් මෙන් පොදු ජනතාව වන අපද එකී මහා පාපයට හවුල් වෙමු. 

වෙසගේ පමණක් නොව තුන්සිය හැටපස් දවසේම අප අනෙකාට අාදරය කරුණව හා ගරුත්වය නොදක්වන්නේ නම් අප අවමන් කරන්නේ මනුෂ්‍යත්වයටයි. ලෝකය බිහි කළ අගනා මනුෂ්‍යයන්ටයි. පූජක අභිමතාර්ථ අනුව විකෘති කරන ලද අාගමික භක්තියෙන් මිදී මනුස්සයෙකු සේ හිතමු.. පතමු.. එවිට ලෝකය නිරායාසයෙන්ම යහපත් හා මනුස්ස වාසයට සරිලන බිම් කඩක් බවට පත් වනවා නොඅනුමානයි. අාදරයෙන් පිරුණු ලොවක ස්වර්ගය හෝ නිවන අපට මේ   ජිවිතය තුළදීම සාක්ෂාත් කර ගත හැකි වන බව අමුතුවෙන් කිව යුතු නැත. 


 


17 comments:

  1. කාලෝචිත වෙසක් පණිවිඩයක්.

    ReplyDelete
    Replies
    1. අැත්තටම අපේ අාකල්ප අළුත් කරගන්න අපේ අාගමත් සංස්කෘතියත් අපට ඉඩ දෙන්නේ නෑ

      Delete
  2. අපේ ගොඩක් දෙනෙක් පිං කරන්නෙ පොළියත් එක්ක රිටර්න් එක බලාගෙන.

    ReplyDelete
  3. එ්ක නේන්නම්... එ්ක මහ අවුලක් නේ

    ReplyDelete
  4. පසලොස්වක පෝයට විතරක් මස් කඩ, මාළු කඩ, තැබෑරුම් වහලා පිං කරන සමාජයෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම.. මේක හරි අපූරු. පසුගාමී රටක්

      Delete
  5. හරි අපූරු දෙයක් උනා. මම මේක FB එකේ ශෙයා කරා. FB එකේ සදාචාරයට විරුද්ධයි කියලා තහනම් කරා.

    ReplyDelete
    Replies
    1. හැබෑට.. මට වාරනයකුත් තිබුණා පසුගිය දිනවල...අනේ ඉතිං අැත්ත කියන ලියන එක ලේසි පාසු නෑ නෙවැ

      Delete
  6. \\වෙසගෙ පමණක් නෙනොව තුන්සිය හැටපස් දවසේම අප අනෙකාට ආදරය කරුණව හා ගරුත්වය නොදක්වන්නේ නම් අප අවමන් කරන්නේ මනුෂ්‍යත්වයටයි\\ - ❤🌹🙏

    ReplyDelete
  7. අපි අාපස්සට යන රටක්...

    ReplyDelete
  8. අපේ පාසල් පෙල පොතේ තිබුනා "සැබෑ දේව පූජාව" කියලා පාඩමක්! ඇත්තෙන්ම එයින් කියැවෙන්නේත් මේ ලිපියේ සාරයමයි.
    බුදුන් වරක් පවසා ඇතැයි මා අසා තියෙනවා; "යමෙක් ගිලනුන්ට උපස්ථාන කරනෙහිද; හේ මට උපස්ථාන කරණවා වැනිය" යනුවෙන්.
    බුදුන් මේ කාලේ හිටියා නම් උන්වහන්සේටත් පිස්සු හැදෙයි අපේ ගල් බෞද්ධයෝ කරණ තක්කඩි වැඩ දැකලා.

    ReplyDelete
  9. කියවීමි! පැහැදුනෙමි!! මගේ දැක්මද මෙයම වේ!!!

    ReplyDelete
    Replies
    1. හැබෑට.. හරිම සතුටුයි.. එහෙනම් අපි එක රෑනේ කුරුල්ලෝ

      Delete

වේතරණි

 ළපටි උක් යායේ සිලි සිලිය අතරේ අකුරින් අකුර පිය මැන යන හින්නිකිතර කෙල්ලත් ඉලංදාරියාත් දිහා ලෙන්ගතු බැලුම් හෙළන උදා හිරු තවම මුදු මොලොක්ය...